Tuesday, June 9, 2015

ජපන්නුන්ට ඉංග්‍රීසි ඉගැන්නීම - තුන්වන කොටස "වෙනස් කෙනෙකු වීමේ ශාපය"

අද මම කථා කරන්න යන්නේ මේ පාසලේදී මට හමුවුන සුවිශේෂී කෙනෙක් ගැන. මේ පාසලේදී මට හමුවනවා අවුරුදු තුනේ සිට සියය දක්වා නොයෙකුත් තරාතිරම් වල නොයෙකුත් දෙනා. ඒ අතරින් මම මුලින්ම ලියන්නේ මට හමුවුන සුවිශේෂී කුඩා දරුවෙක් ගැන. මේ පාසලේ මම උගන්නන්න බයම අය තමයි returnees කියන්නේ. මෙහෙම හදුන්වන්නේ ඇමෙරිකාව, එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව වැනි රටවල අවුරුදු 5කට වඩා ජිවත් වී නැවත ජපානයට එන කුඩා දරුවන්. මෙසේ නැවත පැමිණෙන දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ට වඩා භාෂාව මැනවින් හසුරනවා. ඔවුන්ගේ උච්චාරණය සහජයෙන්ම ඉංග්‍රීසි කථාකරන අයෙකුට බෙහෙවින්ම සමානයි. ඒකත් අපුරු දෙයක්. පුංචි දරුවන් හරියට හිස් බඳුන් වගේ ඔවුන්ට ලේසියෙන් දේවල් ග්‍රහණය කරගන්න පුළුවන්. නමුත් වයසෙන් වැඩිවෙන්න වැඩිවෙන්න වැඩකට නැති දේවල් පුරවපු බඳුන් වගේ ලොකු වෙන්න වෙන්න අපිට දේවල් ග්‍රහණය කර ගැනීමේ හැකියාව නැතිවෙලා යනවා. ඉතින් මේ දරුවන්ට අලුතින් උගන්වන්න දේවල් තියෙන්නේ බොහොම ටිකයි. ඒනිසා ඔවුන්ට උගන්නන එක ලේසි නැහැ. ඔවුන්ගේ දෙමාපියන් අපේ පාසලට ඔවුන් එවන්නේ ඉංග්‍රීසි ඉගැන්වීමටත් වඩා ඒ දරුවන්ගේ භාෂා දැනුම මොටවෙලා යන එකෙන් වළක්වන්නයි.

අද අපේ කථා නායකයාත් හවායි වල අවුරුදු 8ක් ජිවත් වෙලා ජපානයට ආපු කෙනෙක්. වයස අවුරුදු 10ක බෝලයක් වගේ පොඩි පුතෙක්. හැමදාම තමන්ගේ නැගණියත් එක්ක මේ පාසලට එනවා. නංගිගේ ලෙසන් බූත් එකට ගිහින් නංගිට කොලොප්පන් කරලා මගේ බූත් එකේ වාඩි වෙනකොට මුල විනාඩි 5ත් ගත වෙලා ඉවරයි.  දවසේ පාඩම ඉවර කරන්න මෙයාට විනාඩි 5ක් වත් යන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ එයත් එක්ක එයා කැමති දෙයක් ගැන කථා කිරීමයි. එදා දවසේ එයා කථා කලේ එයාගේ යාළුවෙක්ගේ බ්ලොග් එකක් ගැනයි. ඒ බ්ලොග් එකේ ලියන්නේ ඇමෙරිකාවේ සිට ජපානයට පැමිණෙන කුඩා දරුවන් මුහුණ පාන ගැටළු ගැනයි.

ජපානයේ පාසල්, විශ්ව විද්‍යාල වල වගේම ආයතන වල තිබෙන විශාල ගැටළුවක් තමයි කොන්කිරීම "bullying". මේ කොන්කිරීම් වලට ලක්වෙන්නේ එම පිරිසේ සිටින වෙනස් අයයි. ජපානයේදී ආයතන වලදී ජෙය්ෂ්ටත්වයට සියළුම දෙනා ගරු කල යුතුයි. සමහර වෙලාවලදී ජ්‍යෙෂ්ටයා කියන දෙය වැරදි වුවත් සාමාන්‍යයෙන් අනිත් අය එය අභියෝගයට ලක් කරන්නේ නැහැ. ඒනිසාම බොහෝදෙනා ආතතියට ලක්වන අවස්ථා එමටයි. මේ අතරතුර කෙනෙක් තමන්ගේ අදහස එළිපිට කියන්නට ගියෝතින් ඒ කෙනා බොහෝවිට කොන් කිරීම් වලට ලක් වෙනවා. මේ තත්වය පිටරට සිට පැමිණෙන බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. ඒ වගේම කවුරුන් හෝ පෙනුමෙන් හෝ ක්‍රියා කලාපයෙන් පිරිසට වඩා වෙනස් වුවිටද එම අය මෙසේ කොන් වීමට ලක්වෙනවා. මේ තත්වය බොහොම බරපතලයි. මෙනිසාම බොහෝ දෙනා සියදිවි හානි කරගන්නවා. සෑම විනාඩි විස්සකටම  වරක් ජපානයේ එක්කෙනෙක් සියදිවි හානි කරගන්නවා. බොහෝ දෙනාට මෙසේ කිරීමට හේතුවන්නේ මුල්‍යමය ගැටළු නොවෙයි. මානසික ගැටළුයි.  ඒනිසාම බොහෝ විදේශීකයන් තමන්ගේ දරුවා පාසල් යන වියට පත් වෙනවිට ජපානය අත්හැර යනවා. තමන්ගේ යාළුවාගේ ගැටළු ගැන කථා කරමින් සිටි ඒ දරුවා එක්වරම මාතෘකාව වෙනස්කලා.

ළමයා: එයාට විතරක් නෙමෙයි මටත් හරියට කරදර අළුත් ස්කොලේ
මම : ඒ මොනවද
ළමයා: මට හොඳට ජපන් කථා කරන්න බෑනෙ. ඒවගේම මට ඉංග්‍රීසි පුළුවන් නිසා ස්කොලේ ළමයි මම වෙනස් කියල කොන් කරනවා. තව මම කොන්වේවී හිටපු එක්කෙනෙක්ව බේරන්න ගියානේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉලක්කය වුනේ මාවයි.
ඔයා දන්නවද ඒගොල්ලෝ සමහර වෙලාවට රංචු ගැහිලා මම යන එනකොට එක එක ඒවා කිව්වා. මට ඒවා හරියට තේරුනේ නැහැ. ඒත් මම පස්සේ ඒවායේ තේරුම බැලුවම ඒගොල්ලෝ කියල තියෙන්නේ, "උඹ ජපනෙක් නෙමෙයි. උඹ වගේ අය මෙහෙට ගැලපෙන්නේ නැහැ. ආපහු පලයන් ඇමරිකාවට. නැත්නම් මැරියන්"
මම :  ඉතින් ඔයා කිවුවේ නැද්ද ගුරුවරයෙකුට හරි අම්මලට හරි
ළමයා: හපෝ ඒක කරන්න බෑ. ගුරුවරු දන්නවා. ඒගොල්ලෝ මැදිහත් වෙන්න ගියොත් ඒගොල්ලන්වත් කොන් වෙනවා. අම්මට කියන්න බෑ එයා පොඩි කාලේ එයාටත් මෙහෙම වෙලා තියනවා. මේක දැනගත්තොත් එයා හරියට දුක්වෙයි. (මේ පොඩි එකා කතා කරන්නේ හරියට අවුරුදු 30ක 40ක මිනිහෙක් වගේ)
මම : ඉතින් ඔයා මොකද කලේ
ළමයා: මම ඔයාට රහසක් කියන්නද? හැබැයි කා එක්කවත් කියන්න බෑ හරිද?
මම: හා කියන්න
ළමයා: මම ගිය මාසේ ඉන්ටෙර්නෙට් එකෙන් පිහි ඇනවුම් කරන්න හැදුව. මට ඕන උනේ හොඳ කැපෙන පිහියක් ගන්න අරන් ගිහින් ඒගොල්ලෝ ඉස්සරහම මට ඇනගන්න. මම ඉන්ටෙනෙට් එක පුරාම හෙවුවා පිස්සුවෙන් වගේ. ඒත් මට ඒක ගැන හිතලම හිතුනා මේ පිස්සෝ ටිකක් නිසා මම මොකටද මටම නරකක් කරගන්නේ කියල. ඊට පස්සේ මම එක අත ඇරියා. දැන් මම ඒගොල්ලෝ කියන කිසි දෙයක් ගණන් ගන්නේ නෑ ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා.

මේක කියපු ගමන් මට දැනුනේ ලොකු කම්පනයක්. මට ඒ පොඩි එකාව තුරුළු කරන් අඬන්න හිතුනා. ඒත් එහෙම කරන්න බෑ. මේ ළමයින්ගේ ඔළුව අතගාන්නවත් අපිට තහනම්. ඒක "sexual harassment" වලටයි අයිති වන්නේ. නමුත් මම ඔහුව ගොඩක් ප්‍රශංසා කලා මම පුළුවන් තරම් ඔහුගේ හිත හැදුවා. එත් මට බය හිතුනා. මේ දරුවට ඕන වුනේ මට කියල කාට හරි දන්වන්නද කියල මට හිතුනා. ඒනිසාම මම මගේ මැනේජර් ට මේක දැන්නුවා මොකද මේ ළමයා ඔහුට යම්කිසි අනතුරක් කර ගත්තොත් එය මටම  සමාව දී ගන්න බැරි වේවි කියා. ඒ සිදුවීම මේ පාසලේදී මම ලබපු අමතක නොවෙන අත් දැකීමක්. ඒවගේම වෙනස් අයට ඒ විදියට සලකන මේ සමාජය ගැන මට ඇති වුනේ ලොකු කල කිරීමක්. ඒ නිසාම මම මටම පොරොන්දු වුනා phD එක අරගෙන වැඩිකල් නොගිහින්ම මේ රටෙන් යන්නම යනවා කියා.






2 comments:

  1. පණ්ඩුකJune 10, 2015 at 12:18 PM

    ලස්සනට ලියලා තියෙනවා :) :) මටත් ආසයි ඔය බබාලා එක්ක කතා කරන්න :)

    ReplyDelete
  2. ලස්සන සටහනක්. අදමයි මේ බ්ලොග් එක දැක්කේ. ජපානය ගැන කවදාවත් නොදැන සිටි පැත්තක්. ඔබේ අත්දැකීම් දිගටම ලියන්න.

    ReplyDelete