Sunday, February 22, 2015

ජපන්නුන්ට ඉංග්‍රීසි ඉගැන්නීම-දෙවන කොටස (ගුරු පුහුණුව)

මෙම ඉංග්‍රීසි පාසලේ උගන්නන එන්නේ අමුතුම පසුබිම් වලින් පැමිණෙන අයයි. ඉංග්‍රීසි කථාකරන රට වලින් පැමිණි සරණාගතයෝ, විශ්ව විද්‍යාලයට පෙර (gap year) ලෝකය වටේ ඇවිදින්නෝ, කුඩාකාලයේ සිට ජපානයට එන්න සිහින මැවූ අය, ජපන්නු සමඟ විවාහ වුනු විදේශිකයෝ අතර මම වගේ ඔය මොන ගොඩකටවත් අයිති නැති යාන්ත්‍රික ඉන්ජිනේරුවොත් ඉන්නවා. ඉතින් මේ හැමෝම පාසලේ වැඩපිළිවෙලට පුරුදු කරවන්න අනිවාර්ය දින 3ක පුහුණුවීමේ වැඩ සටහනක් පැවැත්වෙනවා.මෙම පාසල අරමුණු කරන්නේ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට පුහුණු කිරීමයි.


මෙම පුහුණුවේ විශේෂ අංගයක් වුනේ ජපන් භාෂාවෙන් කතා කරන අයෙකුට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේදී ඇතිවන ගැටුලු ගැන මෙන්ම පාසලේ විෂය දාරාව පිළිබදව අපව දැනුවත් කිරීමයි. මෙහි විෂය දාරාව පාසලේ LAN(ජාලයේ) තිබෙන නිසා අපට වෙනම පාඩම් වලට සුදානම් වීමට අවෂ්‍ය වන්නේ නැහැ. මිනිත්තු 40ක පාඩමක් ඉතාමත්ම ඵලදායි ලෙසට සිදුකරන අකාරය පිළිබඳව එහිදී අපව දැනුවත් වුනා. එහි විස්තර එතරම් සිත්ගන්නා සුළු නොවන නිසා මම ඒ සම්බන්දයෙන් සඳහන් කරන්නේ නැහැ.


මාත් සමඟ පුහුණුවට පැමිණි විදේශිකයන් විවිධාකාරයි. එක් ඇමෙරිකන් ජාතිකයෙක් ජපානයට පැමිණ තිබෙන්නේ ඔහුගේ වෝල් ස්ට්‍රීට් රැකියාව අතහැර දමා අධ්‍යාත්මික දියුණුවක් පතාගෙනයි. ඔහු විශ්වාශ කරනවා ජපානයේ තිබෙන සිද්දස්ඨාන යාකරන චාරිකාවක් යෑමෙන්, අපේ විදිහට කියනවා නම් වන්දනා ගමනකින් එය ලබාගත හැකිබව. සමහරුන්ට ජිවිතයේ යම් අවස්ථාවකදී එහි නිසරු බව දැනෙන්නට ගන්නවා. ඒ සම්බන්ධයෙන් නොයෙකුත් දෙනා ගන්නා ක්‍රියා මාර්ගත් විවිධයි. නමුත් අදෘෂ්‍ය, වක්‍ර ඇමෙරිකානු අධිපත්‍යය හමුවේ ශ්‍රී ලාංකික අපටත් වඩා අක්මුල් සිඳගෙන ඇති ජපන් සමාජයෙන් අධ්‍යාත්මික දියුණුවක් සෙවීම ප්‍රයෝගික යැයි මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ.


මේ දින තුන අවසානයේ මාව එක් පාසලකට අනුයුක්ත කළා ඒ පිලිබඳ විස්තර පසුවට.



Photo credit: http://www.funofart.com/wp-content/uploads/2013/09/bamboo-forest-at-arashiyama-park-968x774.jpg

No comments:

Post a Comment