Sunday, July 27, 2014

ආදරය කරනවා නම් ශක්‍රයා වගේ කරන්න (සක්දෙවියන්ගේ ආදර කථාව)


මම කවදත් කතන්දර වලට ආසයි. පොඩි කාලේ ඉඳල ගොඩාක් කතන්දර කියවල තියනව. නොයෙකුත් රටවල් වල නොයෙකුත් දෙනා ලිවුව කතන්දර කියවන අතරෙ ආදරේ කරන කාලේ හරිහරියට ආදර කතන්දර කියෙවුව. කොහොම වුනත් මගේ පෞදගලික මතය නම් බෞද්ධ සාහිත්‍යයේ එන ආදර කතා වැනි සුන්දර ආදර කතා නම් ඉතාමත් දුර්ලබයි.  සමහරවිට ඒකතා වැඩිපුර දැනෙන්නේ ඒවා සංසාරික ආදරයක් ගැන කතා කරන නිසා වෙන්න පුළුවන්.

බෞද්ධ සාහිත්‍යයේ එන ලස්සනම ප්‍රේම කතාව සිද්දාර්ථ යශෝධරා වුනත්  ඒක හැමෝම දන්නවනේ. එනිසා අද මම කියන්නේ ශක්‍ර දෙවියන්ගේ ප්‍රේම කතාව. ශක්‍ර දෙවියන්ට නොයෙකුත් නම් තියෙනවා එයින් එකක් තමයි සුජම්පති. ඔහුට සුජම්පති කියන්නේ සුජා කියන අසුර ලඳ ඔහුගේ භාර්යාව නිසයි.

ශක්‍ර දෙවිඳු අවසන් වතාවට මිනිස් ආත්මයක් ලබා සිටියේ මඝ නමැති තැනැත්තෙක් ලෙසයි. මෙය අබුද්ධ කාලයක්. ඒ කියන්නේ බුදු කෙනෙක් පහල නොවී තිබුන කාලයක්. මේ මඝ තරුණයා නොයෙකුත් පුණ්‍ය කාර්ම රාශියක් කර තිබෙනවා. ඔහු ගැන විස්තර සංයුක්ත නිකායේ සක්ක සංයුක්තයේ සඳහන් වෙනවා. මිනිසුන්ට නොමිලේ ගෙවල් සාදාදීම, වනාන්තර වැවීම, දෙමාපිය උපස්ථානය වැනි දේවල්ද සීලයක පිහිටා සිටීමද භාවනාවද මේ තරුණයා කර තිබෙනවා. ඒකාලේ චාරිත්‍රය ලෙසට මේ මාඝ තරුණයාට බිරින්දෑවරු තුන්දෙනෙක් ඉඳල තියෙනවා. ඉතින් මේ බිරින්දෑවරුන්ගෙන් දෙදෙනෙක් මේ පින්කම් වලට උපකාර කලත් එක බිරිඳක් ඒ ගැන වැඩි උනන්දුවක් කර නැහැ.

මේ සියලු දෙනා මියගිය පසුව මාඝ තරුණයා ශක්‍රයා ලෙසද පිනට උපකාර කල බිරින්දෑවරු දෙදෙන ඔහුගේ විමානයේම දිව්‍යාන්ගනාවන් දෙදෙනෙක් වීද උපත ලබා තිබෙනවා. නමුත් ශක්‍රයාගේ ප්‍රියතම බිරිය වූ තුන්වෙනි බිරිය එහි උපත ලබා තිබුනේ නැහැ. 

ශක්‍ර දේවේන්ද්‍රයා දිවැස් යොමා බැලූ විට එම බිරිය කෙකනියක් (කොකාගේ ගෑනු සතා) වී ඉපදී සිටියා. ඉතාමත් සංවේගයට පත් වූ ශක්‍රයා වහාම කෙකනිය ලඟට ගොස් කෙකනියට කතා කර අනෙකුත් බිරියන් දිව් සැප ලබන අයුරු පෙන්වා දී කාරණා පැහැදිලි කර දුන්නා. කෙනෙක් දිව් සැප ලබන්නට නම් සේක බල සම්පුර්ණ කල යුතුයි. එයින් ප්‍රධාන වන්නේ දානය, සීලය හා භාවනාවයි. ඉතින් ශක්‍රයා අර කෙකනියට සිල් රකින ලෙස අවවාද කලා. මින්පසු මැරුණු මාළු පමණක් ආහාරයට ගෙන ප්‍රාණ ඝාතයෙන් වලකින ලෙස කියා සිටියා. 

ශක්‍රයාට දැනගන්න අවශ්‍යවුනා කෙකනිය ඔහු කීදේ පිලිගත්තාද කියා. දිනක් ශක්‍රයා මැරිච්ච මලුවෙක්ගේ වේශයක් මවාගෙන අර කෙකනිය සිටි තැනට පාවී ආවා. කෙකනිය මාළුවා අල්ලගන්න හදනවිටම වරල් සලන්න ගත්තා. මේ දුටු කෙකනිය එම මාළුවා අත් ඇරියා. ඉන් පැහැදුණු ශක්‍රයා කෙකනියට උපකාර කරන්නට සිතට ගත්තා.ඉතින් අහාර මද කම නිසා කෙකනිය ඉක්මනට මරණයට පත් වුනා. 

නැවතත් ශක්‍රයා දිවැස් යොමා බැලු විට කෙකනිය ඉපදී සිටියා ඉතාමත් දුප්පත් ගෙයක ලස්සන දුවක් වී. සීලය සම්පුර්ණ කල නිසා ලස්සන වුවත් දානය නොමැති කම නිසා දුප්පත් වී සිටියා. නැවතත් ශක්‍රයා මේ දියණියගේ උදවුවට පැමිණිය වයසක සීයා කෙනෙක් ලෙසට. මේ සියා පුහුල් විකුණුවා. සීයා කියාගෙන ගියා කෙනෙක් ප්‍රාණඝාතය, සොරකම, බොරුව, ආදී දුස්සිලයෙන් වැලකි සිටීද මේ පුහුල අතට ගත් ගමන් එය රත්තරන් වන බව. මිනිසුන් මේ සීයට විහිලු කරන්නට ගත්තා එහෙම අය නම් හොයන්න වෙන එකක් නෑ කියා. මේ ඇසුණු අර දියණිය ඒ සියා සොයාගෙන ගියා.ඉතින් මේ දියණිය පුහුල් ගෙඩිය අතට ගත්  විටම එය රන් බවට හැරුණා. ඒ සීයා දානයේ ආනිසංශ ඒ දියණියට පහදාදී යන්නට ගියා. ඉතින් මේ දියණිය ඒ ආත්මයේ නොයෙකුත් දන් පින් කරමින් සිට මියගියා.

නැවතත් සක් දෙවිඳු පරික්ෂා කර බැලුවිට ඔහු දුටුවා ඇය වේපචිත්තිය නම් අසුරයන්ට අධිපති අසුර රජුගේ ඉතාමත් සුන්දර සුජා නම් දියණිය වී ඉපදී සිටි බව. භාවනාව පුරුදු නොවූ නිසා ඇයට දෙව් ලොව ඉපදීමට පින් තිබුනේ නැහැ.  
මේ අසුර ලියන්ට ස්වයං වරයකින් තම ස්වාමියාව තෝරා ගත හැකියි. ඉතින් සක් දෙවිඳු අර සුජාගේ ස්වයං වරය දින අසුරයෙකුගේ වෙස් ගෙන එයට සහභාගී වුනා. සංසාර පුරුද්ද නිසා ඇය සක් දෙවිදුන්ව මාලය දමා තම ස්වාමියා ලෙස තෝරා ගත්තා.

බොහොම ඉවසීමෙන් ශක්‍රයා තමන්ගේ ආදරය දිනාගත්තේ ඔන්න ඔය විදියටයි.

-ජනවහර ඇසුරෙනි


Sunday, July 6, 2014

අතරමංවීම



  දුකම සැප             යැයිද 
  සැපම දුක             යැයිද 
ගන්නා ලොවක       ඉපිද
අතරමං නොවනු කවුරුද

Saturday, April 19, 2014

දං බෝවිටියා කැලේ .. මැදින්.. එන්න සිතයි නුඹ ලගට සැනින්


මේ සිද්ධිය වෙනකොට මම දෙක වසරේ හරි තුන වසරේ හරි වෙන්න ඇති. එදා මම උණ හැදිලා නින්ද යන්නේ නැතිව අමාරුවෙන් නැගිටලා හිටපු දවසක්. පොඩි කාලේ අපිට නින්ද යනකම් කථා කියන්නේ තාත්තා. අපේ තාත්තා කියන කතන්දර මම වෙන කොහෙදිවත් අහල නැහැ. එදත් වෙනද වගේම තාත්තා කතන්දර කිවුවා කිවුවා ඒත් නින්ද මන් අහලකටවත් අවේ නැහැ.
අන්තිමට තාත්ත දන්න කතන්දර ඔක්කොම ඉවර වෙලාද  කොහෙද තාත්ත කිවුව මම අද ඔයාට සින්දුවක තියන කතන්දරයක් කියන්නම් කියල. එහෙම කියල කියන්න ගත්ත කතන්දරේ තමයි මේ තරම් කාලෙකට මම අහපු අමතක නොවෙනම කතන්දරේ. තාත්තා කතන්දරේ ටිකක් කියනවා. ඊට පස්සේ ඒකට අදාල සින්දුවේ කොටස ගයනවා. ඔන්න එහෙනම් ඒ කතන්දරේ තාත්තා කියපු විදිහටම.

මේ කතාව පොඩි සාදු කෙනෙක් ගැනයි. ඒකාලේ පොඩි ළමයි මහන කරවන්නේ ඒ පිනෙන් සතර වරිගයටම නිවන් දකින්න පුළුවන් කියල විශ්වාශයක් තිබ්බ නිසාලු. එපාර මට තිබ්බ ප්‍රශ්න තමයි සතර වරිගය කියන්නේ මොකද්ද කියලයි, නිවන් දකිනවා කියල කියන්නේ මොකද්ද කියලයි. තාත්තනම් කිවුවේ සතර වරිගේ කියන්නේ අම්මගේ අම්මගේ නෑදෑයොයි අම්මගේ තාත්තගේ නෑදෑයොයි තාත්තගේ අම්මගේ නෑදෑයොයි තාත්තගේ තාත්තගේ නෑදෑයොයි කියලයි. නිවන් දකිනවා කියන්නේ බුදුහාමුදුරුවෝ වගේ ජීවිතේ ඔක්කොම දුක ඉවර කරලා ආයිත් උපදින්නේ නැතිවෙන එකට කියල තමයි තාත්ත කිවුවේ.

ඔන්න පොඩි සාදු බෝමළුව අතුගාන කොට මල් ආසනේ මල් සුවද එනකොට අම්මගේ කිරිසුවද මතක් වෙන්න ගත්තලු. ඒ එක්කම ගෙදරයි සෙල්ලම් පිට්ටනියයි මතක් වෙලා අම්ම හොයාගෙන ගෙදර යන්න හිතුනලු

“බෝ මලුවෙ මල් සුවදක පැටලි
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට සිත ඈදි
ගේ දොර සෙල්ලම් පිටිය මතක්‌ වෙන්නේ..
දං බෝවිටියා කැලේ .. මැදින්..
එන්න සිතයි නුඹ ලගට සැනින්…”

ඒක කියන කොටම මම අඩන්න ගත්තා.

ඉතින් පොඩි සාදු හිතනවලු අනේ අම්මේ මම හතර වරිගයම සංසාරෙන් එතෙර කරන්නම්, ඒත් ඒ අතරේ චුට්ටකට යාලුවෝ එක්ක සෙල්ලන් කරලා එන්නද කියලා. එහෙම හිතපු ගමන්ම ආයිත් හිතුනලු, ඒත් එහෙම කරන්නේ කොහොමද යාලුවෝ ඔක්කොම පිටනියට ගිය ගමන් පොඩි සාදු කිය කිය වදින්න එනවනේ. ඉතින් සෙල්ලම් කරන්නේ කොහොමද.

“එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්‌ටක්‌ සෙල්ලම් කරලා ඒන්නද
පුරුදු යහලුවන් හා සැනෙනී
එහෙම ගියත් ඒ අය පොඩි සාදු
කියා කියන විට වැද වැටිලා
කොහොමද අම්මේ ඔට්‌ටු දුවන්නෙ
වෙල් ඉපනැල්ලේ පැන නටලා”

ඉතින් මම උපදින හැම ආත්මයේම පෙරුම් පුරලා පෙරුම් පුරලා දවසක මම හතර වරිගයම සංසාරෙන් එතෙර කරන්නම්.ඊට පස්සේ ඇවිත් මම අම්මගේ තුරුලට වෙලා ඉන්නවා. ඒත් අම්මේ එහෙම කරන්නේ කොහොමද එතකොට අම්මත් සංසාරෙන් එතෙර වෙලානේ.

“භවයෙන් භවයේ පෙරුම් පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වර්ගයම
එතෙර කරන්නම් සංසාරෙන්
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා ..”

මේක කියපු ගමන් මට දැනුණ කම්පනය මේ සින්දුව අහන අහන වාරයක් ගානේ තාමත් දැනෙනවා. මේක තමයි මගේ පොඩිකාලේ මම ආසම සින්දුව. අදත් මේ සින්දුව ඇහෙන කොට ඇහැට කඳුලක් එන්නේ සින්දුවේ කතාවටත් වඩා  අම්මල තාත්තල අපිට නින්ද නොයන කම් කීදවසක් මෙහෙම දුක්විදල ඇතිද කියල මතක් වෙලා. අම්මේ තාත්තේ දං බෝවිටියා කැලේ .. මැදින්..එන්න සිතයි නුඹ ලගට සැනින්.




Tuesday, April 8, 2014

සත්‍ය


කුරුල්ලෙක් වගේ ඉගිල්ලිලා යන්න ආසයි කීවට.
දුටුවාද ඔබ
පස්සෙන් පන්නාගෙන එන උකුස්සෝ,
රාත්‍රියේ බිත්තර කන්න එන සර්පයෝ,
කෑම සොයා ලතවෙන කුරුල්ලෝ..


ඡායාරූ අනුග්‍රහය: http://images.elephantjournal.com/

Tuesday, March 11, 2014

The beautiful sea ice aka the world's largest heat sink.

Two weeks ago I went to Monbetsu, Hokkaido. That's the northern tip of Japan. One of the things I adore about my research is that it takes me to most amazing places. My research is on numerically modeling the sea ice in Arctic. Therefore most of the symposiums and research conferences are happening in the coldest places. This is the 29th symposium of Okhotsk sea. The Okhotsk sea is the sea between northern Japan and Russia. My laboratory is an active participant of the symposium. This is my first time to attend the symposium. It was freezing there but I really enjoy all the views, good food in Hokkaido as well as the interesting research done by the fellow researchers.

Here goes some of the pictures I took there.

I took this right after landing at the Monbetsu airport. That was one of the scariest landings I've been through. I almost thought we wouldn't be able to break.

This is the frozen Okhotsk sea. It was my first time to see the sea ice. It's really nice to see and feel what you are modeling numerically for real.

This is the frozen sea near the beach. The man in the picture is looking for the small little sea creatures. I can't imagine doing this.

These are the cleons. They can also be seen in Disney animations



It's freezing out there but it's beautiful

If everything in the world is one color, I'll go for white. Not only It includes all the colors, but also it's really pretty.



The ship I was on board. Garinko the ice breaker ship. 

 These circular pieces of ice are called "pan-cake ice" This is the formation stage of ice.

The boarder between sea ice and the sea. 


There was a nice blue color within the sea ice. One of the most beautiful things I've ever seen.

On board Garinko, the ice breaker with the beautiful sea ice I model.

The ice in the ocean is one of the most beautiful things in the world. More than the beauty it also serves as a heat sink to the world. Hopefully the politicians would at least acknowledge that global warming exists and take some measures to save them before it's too late.

Wednesday, January 8, 2014

බර මළු ඔසවාගෙන ගියොත් ගමන වෙහෙසයි.වේගෙන් යන්නට ගියෝතින් ජීවිතය කෙටියි...













මේ ගීතය හරිම සුන්දර ගීතයක්. සංගීතය මෙන්ම අර්ථයෙනුත් සුන්දරයි.  ජීවිතය ඕනවට වඩා කාර්යශීලි කර නොගන්න කියලයි මෙයින් කියන්නේ. එහි සුන්දර තේරුම මම පහත ලියා තිබෙනවා. මෙය ගායනා කරන්නේ ජපානයේ ඔකිනවා වල ගායිකාවක් වන රිමී නට්සුකවා.ඔකිනවා කියන්නේ ජපානයට අයත් දුපත් අතරින් දකුණු කෙලවරෙහිම  පිහිටලා තියෙන දූපතක්. මේ දුපත විශේෂ දූපතක්. එය ඉතාමත්ම අලංකාර මෙන්ම එහි දේශගුණය ශ්‍රිලංකාවේ මෙන්ම සමෝෂ්ණයි. තවත් එක විශේෂත්වයක් වන්නේ ජපානයේ අනෙකුත් සෑම ප්‍රාන්තයකම මිනිසුන් වෙලාවට වැඩ කලත් ඔකිනවාවල උදවියට ඒ පුරුද්ද නැතිකමයි. සමහර පර්යේෂකයන් සමකය ආසන්නයේ ජිවත්වන පුද්ගලයන්ට කාලය කියන දෙයහි වැදගත්කම දැනෙන්නේ අඩුවෙන් කියා කියනවා. ඒ කෙසේවෙතත් ඔකිනවා වල මිනිස්සු  තමයි ලෝකයේ වැඩිම ආයුෂ තියන මිනිස්සු. එක හේතුවක් කියන්නේ ජිවිතයේ ආතතියක් (stress) නැති කම. ජපානයේදී වෙලාවට වැඩකිරීම අත්‍යවශ්‍යයි. කෙනෙකුව මිනිත්තුවක් හෝ බලාසිටීමට ලක් කිරීම ඔවුන්ට කරන නරකම අපහාසයක් ලෙසයි ජපන්නු සලකන්නේ. මෙය සමහර වෙලාවට මිනිසුන්ව නොසෑහෙන ආතතියකට ලක්කරනවා. මට ජපන්නුන්ට කියන්න ඕනවෙලතිබ්බ දේ මේ ගායිකාව හරි අපුරුවට කියනවා. ගීතයේ තේරුම පහලින් ඇත. 

(මගේ පරිවර්තනයේ අඩුපාඩු තිබිය හැකිබව කරුණාවෙන් සලකන්න)

දුර ඈතට දිවෙන කඳුපාරේ 
ඔබ විවේකයක් ගන්න නැවතුනෝතින් 
ඔබව පසුකර යාවි.
සිහින දැකීම මල් වෙඩි නරඹනවා වාගෙයි  
ක්ෂණික ආලෝකයට  පසුව අඳුර පැමිණේවි  

ඔබේ මුදු සිනාව 
මිනිසුන්ව උණුසුම් කරාවි
ඔයතරම් වෙහෙස නොවන්න  
ඉඩ ලැබෙන විටක මම ආසයි ඔබ අහුන්කම් දෙනවානම් 
ඔබේ හදවතේ නැගෙන හැඟීම් වලට 
දයාබර මිනිසුනේ 
මගේ හදවතේ ලැගුම්ගන්න 

බර මළු ඔසවාගෙන ගියොත් ගමන වෙහෙසයි
වේගෙන් යන්නට ගියෝතින් ජීවිතය කෙටියි 
හෙමින් සැරේ ගියෝතින් ඒක දුර ගමනක් 
පාට හතක් තියන දේදුන්නක් හඹා යනවිට 
එය සමරණ දවස එනකන් බලාහිද වෙහෙසට පත්වේවි  
ඔයතරම් වෙහෙස නොවන්න 
දයාබර මිනිසුනේ 
විටෙක හැඩු වාට කමක් නැත.

සිනාවෙන්න අමතක වුවිට 
ඔබ මිනිසුන්ගේ හදවත් බිදීවි
ඔයතරම් වෙහෙස නොවන්න 
විටෙක මිනිසුන්ව විශ්වාස කිරීමට බිය නොවන්න 
දයාබර මිනිසුනේ 
මගේ හදවතේ ලැගුම්ගන්න