Sunday, February 22, 2015

ජපන්නුන්ට ඉංග්‍රීසි ඉගැන්නීම-දෙවන කොටස (ගුරු පුහුණුව)

මෙම ඉංග්‍රීසි පාසලේ උගන්නන එන්නේ අමුතුම පසුබිම් වලින් පැමිණෙන අයයි. ඉංග්‍රීසි කථාකරන රට වලින් පැමිණි සරණාගතයෝ, විශ්ව විද්‍යාලයට පෙර (gap year) ලෝකය වටේ ඇවිදින්නෝ, කුඩාකාලයේ සිට ජපානයට එන්න සිහින මැවූ අය, ජපන්නු සමඟ විවාහ වුනු විදේශිකයෝ අතර මම වගේ ඔය මොන ගොඩකටවත් අයිති නැති යාන්ත්‍රික ඉන්ජිනේරුවොත් ඉන්නවා. ඉතින් මේ හැමෝම පාසලේ වැඩපිළිවෙලට පුරුදු කරවන්න අනිවාර්ය දින 3ක පුහුණුවීමේ වැඩ සටහනක් පැවැත්වෙනවා.මෙම පාසල අරමුණු කරන්නේ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට පුහුණු කිරීමයි.


මෙම පුහුණුවේ විශේෂ අංගයක් වුනේ ජපන් භාෂාවෙන් කතා කරන අයෙකුට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේදී ඇතිවන ගැටුලු ගැන මෙන්ම පාසලේ විෂය දාරාව පිළිබදව අපව දැනුවත් කිරීමයි. මෙහි විෂය දාරාව පාසලේ LAN(ජාලයේ) තිබෙන නිසා අපට වෙනම පාඩම් වලට සුදානම් වීමට අවෂ්‍ය වන්නේ නැහැ. මිනිත්තු 40ක පාඩමක් ඉතාමත්ම ඵලදායි ලෙසට සිදුකරන අකාරය පිළිබඳව එහිදී අපව දැනුවත් වුනා. එහි විස්තර එතරම් සිත්ගන්නා සුළු නොවන නිසා මම ඒ සම්බන්දයෙන් සඳහන් කරන්නේ නැහැ.


මාත් සමඟ පුහුණුවට පැමිණි විදේශිකයන් විවිධාකාරයි. එක් ඇමෙරිකන් ජාතිකයෙක් ජපානයට පැමිණ තිබෙන්නේ ඔහුගේ වෝල් ස්ට්‍රීට් රැකියාව අතහැර දමා අධ්‍යාත්මික දියුණුවක් පතාගෙනයි. ඔහු විශ්වාශ කරනවා ජපානයේ තිබෙන සිද්දස්ඨාන යාකරන චාරිකාවක් යෑමෙන්, අපේ විදිහට කියනවා නම් වන්දනා ගමනකින් එය ලබාගත හැකිබව. සමහරුන්ට ජිවිතයේ යම් අවස්ථාවකදී එහි නිසරු බව දැනෙන්නට ගන්නවා. ඒ සම්බන්ධයෙන් නොයෙකුත් දෙනා ගන්නා ක්‍රියා මාර්ගත් විවිධයි. නමුත් අදෘෂ්‍ය, වක්‍ර ඇමෙරිකානු අධිපත්‍යය හමුවේ ශ්‍රී ලාංකික අපටත් වඩා අක්මුල් සිඳගෙන ඇති ජපන් සමාජයෙන් අධ්‍යාත්මික දියුණුවක් සෙවීම ප්‍රයෝගික යැයි මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ.


මේ දින තුන අවසානයේ මාව එක් පාසලකට අනුයුක්ත කළා ඒ පිලිබඳ විස්තර පසුවට.



Photo credit: http://www.funofart.com/wp-content/uploads/2013/09/bamboo-forest-at-arashiyama-park-968x774.jpg

Thursday, February 5, 2015

ජපන්නුන්ට ඉංග්‍රීසි ඉගැන්නීම- ප්‍රස්තාවනාව

ටික කලක ඉදන් මම ජීවත් වෙන්නේ ජපානයේ. හැබැයි මෙහෙ එන්න තුන් හිතකවත් කිසිම අදහසක් වත් ආසාවක් වත් තිබුනේ නැහැ. ගෙදර උන්නැහැට phd කරන්න ශිෂ්‍යත්වේ හම්බ වුනේ ජපානෙට. එපාර මාත් ලංකාවේ මගේ රස්සාවට තිත තියල ආවේ phd එකක් කරන්න හිතාගෙන. හැබැයි මෙහෙ ආවට පස්සේ එහෙම එකක් හදාගන්න ලේසි නැහැ, ජපන් බැරුව.අවුරුද්දක් විතර සෑහෙන මහන්සි වෙන්න වුනා සරසවියකට ඇතුල් වෙන්න. නමුත් ඒ අවුරුද්දෙ මම සැහෙන දේවල් කලා. එයින් එකක් වුනේ මෙහෙ ඉංග්‍රීසි පාසලක ඉංග්‍රීසි ඉගැන්නීම.

ජපානේ මොන රස්සාවට ගන්නත් සම්මුක පරීක්ෂණ බොහෝ ගණනක් තියෙනවා. මගේ මේ අඩ කාල (part-time) රස්සාවටත් මට විභාග හා සම්මුක පරීක්ෂණ 6ක් තිබ්බ (ඔව්, ජප්පොන්ට පිස්සු ). මගේ toefl score එක හා ඉස්කෝලේ යන කාලේ ඉඳන් ෆිල්ම් බලල හදා ගත්ත accent එක නිසා යන්තම් මට රස්සාව හම්බ වුනා. ඒක ලොකු පාසැලක්. ඔවුන්ට ජපානේ පුරා පාසැල් 100ක් විතර තියෙනවා. උගන්නන බොහෝ දෙනා ඇමෙරිකානු බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියානු ජාතිකයෝ.

මේ පාසල අමුතු පාසලක්. එක පාසලක ඉන්නේ ගුරුවරු 15ක් විතර. අපේ පන්ති ඔක්කොම තනි පන්ති (one to one). එක පාඩමක් විනාඩි 45යි. උදේ 10 සිට රාත්‍රී 10 තෙක් විනාඩි 45න් 45ට බෙල් එක වදිනවා පාඩම් මාරු වෙනකොට. අපිට මාසේ එන්න පුළුවන් වෙලාවල් ඊට ඉස්සෙල්ල මාසේ අන්තර්ජාලය හරහා අපේ කාල සටහනේ ලකුණු කරන්න ඕන. ඉගෙන ගන්න එන අය අන්තර්ජාලය ඔස්සේ අපේ කාලසටහන book කරනවා. ගුරුවරු හැමෝටම පොඩි cubicle එකක් තියෙනවා. තමන්ගේ පාඩම තියෙන වෙලාව ආවම ශිෂ්‍යයා අදාල cubicle එකට එනවා. මේ පාසැලට ඉගෙන ගන්න එනවා අවුරුදු 3 සිට 100 දක්වා සියලුම දෙනා.

හැබැයි මේ පාසැල විවෘත ජපානයේත් ඉහල පාන්තිකයන්ට පමණයි. මොකද මේ විනාඩි 40යේ පන්තියට එක් අයෙක් ගෙවනවා ලංකාවේ රුපියල් වලින් නම් රුපියල් 10,000ක් පමණ(ඔව්, ආයිත් කියන්න ඕන. ජප්පොන්ට පිස්සු) ඒවුනාට ගුරුවරුන්ට ලැබෙන්නේ ඒ ගනනින් 4න් 1ක් පමණයි. ඒවගේම අපි කරන හැම පාඩමකටම ශිෂ්‍යයා ගුරුවරයාට ලකුණු දෙනවා උපරිමය 5ක්. ලකුණු 5න් 3ට අඩු වුනොත් ළමයාට නැවත මුදල් දෙනවා. ඒවාට කියන්නේ negative lessons කියල. මාසයකට මේ වගේ negative lessons 2ක් ලැබුනොත් ගුරුවරයාගේ කොන්ත්‍රාත්තුව දිගු කරන්නේ නැහැ. ඔන්න ඔය කරුණු නිසා මෙහි ඉගැන්වීම පහසු කාර්යයක් නොවෙයි.

මුල් කාලයේ නම් මෙහි ඉගැන්වීම හිතට හරිම පිඩාවක්. නමුත් දැන් මගේ phd එකට ඉගෙන ගන්න අතරතුරේදීත් මම යනවා එහි හේතු කීපයක් නිසා. මෙහිදී මට හමුවුන මිනිසුන් විවිධාකාරයි. ඔවුන් සමග කථා කිරීමෙන් මම බොහෝ දේවල් ඉගෙන ගන්නවා ජපානය මෙන්ම ලෝකය ගැන. මේ වනවිට මම උගන්වා තිබෙනවා ජපන් නළු නිළියන්ට,ගායක ගායිකාවන්ට, අධිනීතිඥයන්ට, සිනමා අධ්‍යක්ෂකවරුන්ට, CEOලාට මහාචාර්යවරුන්ට, ආච්චිලා සීයලා ඇතුළු කුඩා දරුවන්ට. ඒවගේම ජපානයේදී ඉංග්‍රීසි කතාකිරීමට ලැබෙන අවස්ථා හරි අඩුයි. ඒනිසා මෙසේ ඉගැන්වීම මගේ ඉංග්‍රීසි භාෂා දැනුම මොට නොවී තබා ගැනීමටත් උදවු වෙනවා. ඒවගේම මගේ ආර්ථිකයටත් මෙය ඉතාමත්ම හිතකරයි.

මේ වෙනවිට මම පාඩම් 3000කට අධික ප්‍රමාණයක් උගන්නා තිබෙනවා. ඉන් 3ක් පමණයි negative lessons වුවේ. ඉතින් මේ පාඩම් වලින් මට හමුවූ විශේෂ පුද්ගලයින් ගැන මම නොවරදවාම ළඟදීම ලියන්නම්.

මේ පාසැල ගැන විකියේ විස්තරය

http://en.wikipedia.org/wiki/Gaba_Corporation