Sunday, July 27, 2014

ආදරය කරනවා නම් ශක්‍රයා වගේ කරන්න (සක්දෙවියන්ගේ ආදර කථාව)


මම කවදත් කතන්දර වලට ආසයි. පොඩි කාලේ ඉඳල ගොඩාක් කතන්දර කියවල තියනව. නොයෙකුත් රටවල් වල නොයෙකුත් දෙනා ලිවුව කතන්දර කියවන අතරෙ ආදරේ කරන කාලේ හරිහරියට ආදර කතන්දර කියෙවුව. කොහොම වුනත් මගේ පෞදගලික මතය නම් බෞද්ධ සාහිත්‍යයේ එන ආදර කතා වැනි සුන්දර ආදර කතා නම් ඉතාමත් දුර්ලබයි.  සමහරවිට ඒකතා වැඩිපුර දැනෙන්නේ ඒවා සංසාරික ආදරයක් ගැන කතා කරන නිසා වෙන්න පුළුවන්.

බෞද්ධ සාහිත්‍යයේ එන ලස්සනම ප්‍රේම කතාව සිද්දාර්ථ යශෝධරා වුනත්  ඒක හැමෝම දන්නවනේ. එනිසා අද මම කියන්නේ ශක්‍ර දෙවියන්ගේ ප්‍රේම කතාව. ශක්‍ර දෙවියන්ට නොයෙකුත් නම් තියෙනවා එයින් එකක් තමයි සුජම්පති. ඔහුට සුජම්පති කියන්නේ සුජා කියන අසුර ලඳ ඔහුගේ භාර්යාව නිසයි.

ශක්‍ර දෙවිඳු අවසන් වතාවට මිනිස් ආත්මයක් ලබා සිටියේ මඝ නමැති තැනැත්තෙක් ලෙසයි. මෙය අබුද්ධ කාලයක්. ඒ කියන්නේ බුදු කෙනෙක් පහල නොවී තිබුන කාලයක්. මේ මඝ තරුණයා නොයෙකුත් පුණ්‍ය කාර්ම රාශියක් කර තිබෙනවා. ඔහු ගැන විස්තර සංයුක්ත නිකායේ සක්ක සංයුක්තයේ සඳහන් වෙනවා. මිනිසුන්ට නොමිලේ ගෙවල් සාදාදීම, වනාන්තර වැවීම, දෙමාපිය උපස්ථානය වැනි දේවල්ද සීලයක පිහිටා සිටීමද භාවනාවද මේ තරුණයා කර තිබෙනවා. ඒකාලේ චාරිත්‍රය ලෙසට මේ මාඝ තරුණයාට බිරින්දෑවරු තුන්දෙනෙක් ඉඳල තියෙනවා. ඉතින් මේ බිරින්දෑවරුන්ගෙන් දෙදෙනෙක් මේ පින්කම් වලට උපකාර කලත් එක බිරිඳක් ඒ ගැන වැඩි උනන්දුවක් කර නැහැ.

මේ සියලු දෙනා මියගිය පසුව මාඝ තරුණයා ශක්‍රයා ලෙසද පිනට උපකාර කල බිරින්දෑවරු දෙදෙන ඔහුගේ විමානයේම දිව්‍යාන්ගනාවන් දෙදෙනෙක් වීද උපත ලබා තිබෙනවා. නමුත් ශක්‍රයාගේ ප්‍රියතම බිරිය වූ තුන්වෙනි බිරිය එහි උපත ලබා තිබුනේ නැහැ. 

ශක්‍ර දේවේන්ද්‍රයා දිවැස් යොමා බැලූ විට එම බිරිය කෙකනියක් (කොකාගේ ගෑනු සතා) වී ඉපදී සිටියා. ඉතාමත් සංවේගයට පත් වූ ශක්‍රයා වහාම කෙකනිය ලඟට ගොස් කෙකනියට කතා කර අනෙකුත් බිරියන් දිව් සැප ලබන අයුරු පෙන්වා දී කාරණා පැහැදිලි කර දුන්නා. කෙනෙක් දිව් සැප ලබන්නට නම් සේක බල සම්පුර්ණ කල යුතුයි. එයින් ප්‍රධාන වන්නේ දානය, සීලය හා භාවනාවයි. ඉතින් ශක්‍රයා අර කෙකනියට සිල් රකින ලෙස අවවාද කලා. මින්පසු මැරුණු මාළු පමණක් ආහාරයට ගෙන ප්‍රාණ ඝාතයෙන් වලකින ලෙස කියා සිටියා. 

ශක්‍රයාට දැනගන්න අවශ්‍යවුනා කෙකනිය ඔහු කීදේ පිලිගත්තාද කියා. දිනක් ශක්‍රයා මැරිච්ච මලුවෙක්ගේ වේශයක් මවාගෙන අර කෙකනිය සිටි තැනට පාවී ආවා. කෙකනිය මාළුවා අල්ලගන්න හදනවිටම වරල් සලන්න ගත්තා. මේ දුටු කෙකනිය එම මාළුවා අත් ඇරියා. ඉන් පැහැදුණු ශක්‍රයා කෙකනියට උපකාර කරන්නට සිතට ගත්තා.ඉතින් අහාර මද කම නිසා කෙකනිය ඉක්මනට මරණයට පත් වුනා. 

නැවතත් ශක්‍රයා දිවැස් යොමා බැලු විට කෙකනිය ඉපදී සිටියා ඉතාමත් දුප්පත් ගෙයක ලස්සන දුවක් වී. සීලය සම්පුර්ණ කල නිසා ලස්සන වුවත් දානය නොමැති කම නිසා දුප්පත් වී සිටියා. නැවතත් ශක්‍රයා මේ දියණියගේ උදවුවට පැමිණිය වයසක සීයා කෙනෙක් ලෙසට. මේ සියා පුහුල් විකුණුවා. සීයා කියාගෙන ගියා කෙනෙක් ප්‍රාණඝාතය, සොරකම, බොරුව, ආදී දුස්සිලයෙන් වැලකි සිටීද මේ පුහුල අතට ගත් ගමන් එය රත්තරන් වන බව. මිනිසුන් මේ සීයට විහිලු කරන්නට ගත්තා එහෙම අය නම් හොයන්න වෙන එකක් නෑ කියා. මේ ඇසුණු අර දියණිය ඒ සියා සොයාගෙන ගියා.ඉතින් මේ දියණිය පුහුල් ගෙඩිය අතට ගත්  විටම එය රන් බවට හැරුණා. ඒ සීයා දානයේ ආනිසංශ ඒ දියණියට පහදාදී යන්නට ගියා. ඉතින් මේ දියණිය ඒ ආත්මයේ නොයෙකුත් දන් පින් කරමින් සිට මියගියා.

නැවතත් සක් දෙවිඳු පරික්ෂා කර බැලුවිට ඔහු දුටුවා ඇය වේපචිත්තිය නම් අසුරයන්ට අධිපති අසුර රජුගේ ඉතාමත් සුන්දර සුජා නම් දියණිය වී ඉපදී සිටි බව. භාවනාව පුරුදු නොවූ නිසා ඇයට දෙව් ලොව ඉපදීමට පින් තිබුනේ නැහැ.  
මේ අසුර ලියන්ට ස්වයං වරයකින් තම ස්වාමියාව තෝරා ගත හැකියි. ඉතින් සක් දෙවිඳු අර සුජාගේ ස්වයං වරය දින අසුරයෙකුගේ වෙස් ගෙන එයට සහභාගී වුනා. සංසාර පුරුද්ද නිසා ඇය සක් දෙවිදුන්ව මාලය දමා තම ස්වාමියා ලෙස තෝරා ගත්තා.

බොහොම ඉවසීමෙන් ශක්‍රයා තමන්ගේ ආදරය දිනාගත්තේ ඔන්න ඔය විදියටයි.

-ජනවහර ඇසුරෙනි


Sunday, July 6, 2014

අතරමංවීම



  දුකම සැප             යැයිද 
  සැපම දුක             යැයිද 
ගන්නා ලොවක       ඉපිද
අතරමං නොවනු කවුරුද