Saturday, September 29, 2012

ජපානයේ මුදුන සොයා ගිය ගමන



ෆුජි කන්ද ජපානයේ තිබෙන උසම කන්දයි. ශ්‍රී ලාංකිකයන්ට සමනල කන්ද කෙතරම් පුජනිය වන්නාසේම ජපන්නුන්ට ෆුජි කන්ද එතරම්ම පුජනියයි. වලාකුළු රහිත උදැසනක ෆුජි කන්ද දැකීම වාසනාව ගෙන දෙන බවයි ඔවුන්ගේ විශ්වාශය. ජපන්නුන් ෆුජි කන්ද අමතන්නේ ෆුජිසන් කියයි. එහි තේරුම ෆුජි මහත්මයායි. උසින් ෆුජිකන්ද අඩි 12388 ක්. එය ලෝකයේ තිබෙන කඳු වලින් 35ස් වෙනියට උසම කන්දයි. මේ කන්ද තරණය කරන වාරය පවතින්නේ මාස දෙකක් පමණයි. ඒ ග්‍රීෂ්ම සෘතුවේ ජූලි සහ අගෝස්තු මාස වලයි. අනෙකුත් මාස වල මේ කන්ද හිමෙන් වැසී තිබෙන නිසා තරණය කිරීම දුෂ්කරයි. පහත දැක්වෙන්නේ පසුගිය අවුරුද්දේ සීත සෘතුවේදී මම කියෝතෝ බලා බුලට් දුම්රියේ යන අතරතුර ගත් සේයාරුවක්. ඇත්තෙන්ම එය ඉතාමත්ම සුන්දර දර්ශනයක්.


 මේ වසර මගේ ජපන් ජිවිතයේ දෙවන වසරයි. මගේ ශ්‍රී ලාංකික හිතමිතුරන් ෆුජි කන්ද නැගීමට චාරිකාවක් සංවිදානය කල නිසාවෙන් මමත් ඔවුන් සමඟ එක්වීමට තීරණය කලා. අපි ජීවත්වෙන්නේ ටෝකියෝ නගරයේ නිසා අපිට ටෝකියෝ වල තිබෙන ලෝකයේ ජනාකිර්ණම දුම්රිය නැවතුම්පොළ වන ශින්ජුකු සිට පැය දෙකක් බස් රථයෙන් ෆුජිකන්ද පාමුල වෙත ගමන කරන්න සිද්ද වුනා. අපි ගමන් ඇරබුවේ රාත්‍රී 7.30 ටයි. අපි 9.30 වනවිට ෆුජිකන්දේ පස් වන නැවතුම් පොලට ලඟා වුනා. එතැන්සිට ඇරඹුණා කිලෝමීටර 6 ක්  දුර අපගේ කඳු තරණය.




අප ගත් ගමන් මග වන යොෂිඩා මාර්ගයේ සිතියමක්
මේ තරණය සදහා අත්‍යාවශ්‍ය දේවල්නම්. හිසේ පළදින විදුලි එලි, ඔක්සිජන් ටැංකි, ශක්ති ජනක පානයන්, මුදුනේ අඩු උෂ්ණත්වයට ගැලපෙන කබා සහ අත්මේස්, කුඩා සීනුවක් සවිකළ යෂ්ටියක්, චොකලට් වැනි කැවිලි සහ වතුර බෝතල්. මේ සියල්ල සමගින් සහ උද්යෝගමත් මනසකින් යුක්තව අපි ගමන ආරම්භ කලා.


මම සහ පේෂල 6 වෙනි නැවතුම්පොලේදී

   
මෙහිදී හමුවන පළමු නැවතුම්පොළ 6 වෙනි නැවතුම් පොලයි. එය තමයි ගමනේ ලෙහෙසිම කොටස.මින් ඔබ්බට මාර්ගය එතරම් ලෙහෙසි වූයේ නැහැ. නමුත් සැමවිටම මාර්ගයේ තිබෙන යකඩ දම්වැල ඇත්තෙන්ම තරණයට බොහෝසෙයින් උපකාරී වුවා. මේ යන සැමදෙනාගේම බලාපොරොත්තුව ඉරසේවය බැලීමට කන්ද මුදුනට ළඟාවීමයි. මේ ගමන විඩා නොවී යාමට දැනගත යුතුම දේ තමයි, හුස්ම ගැනීම සහ පාද තැබීම එකවිට සිදුකිරීමයි. දිවිමේදී වගේම කඳු නැගීමේදී එය ඉතාමත් වැදගත්. අප දෙදෙනාම උදැසනට දිවීමට පුරුදුවී සිටි නිසා එය අපට හොඳ පුහුණුවක් වුවා. 

මේ ගමනේදී ගතේ විඩාවත් සමග අහාර රුචිය නොදැනී යනවා. එවිට ගතේ ශක්තිය රඳවා ගැනීමට උපකාරී වුයේ මෙම ශක්තිජනක ජෙලියි. හත් වන නැවතුම්පොළ සහ අට වැන්න අතර එතරම් දුරක් දැනුනේ නැහැ. නමුත් අට වන නැවතුම් පොලින් ඇරභුනු නොනිමි ගමන බෙහෙවින්ම දුෂ්කරයි. 


මේ අතරතුර තවත් ඉදිරියට යන්නට නම් නොහැකියි කියල හිතුන වාරත් අපමණයි. නමුත් ආපහු හැරීම බයගුලුකමක් කියලයි අපිට සිතුනේ. ටෝල්කෙයින් ඔහුගේ “the hobbit” පොතේ කියනවා වාගේ, ““Go back?" he thought. "No good at all! Go sideways? Impossible! Go forward? Only thing to do! On we go!" ඒ දුෂ්කර තරණය අවසානයේ අප ළඟාවුනා 9 වෙනි නැවතුම්පොළට.

 


 












අවාසනාවකට වාගේ එදා ඉරසේවය වලාකුළුවලින් වැසි තිබුණේ නමුත් ඉහල සිට පෙනුණු දර්ශනය නම ඉතාමත් මනරම්. අපි වලාකුළු වලට වඩා ඉහළින් සිටිනවා යයි දැකීම ඇත්තෙන්ම අපුරුයි. මින් පසු අපි ආරම්භ කලා තරණයේ අවසාන අදියර. ගතට කොතරම් වෙහෙසක් දැනුනත් කඳුමුදුන ළඟ ලඟම පෙනෙන විට සිතට දැනුන ප්‍රබෝදය කඳුමුදුනට ලඟා වන තුරුම සිතේ රැඳුනා. අවසානයේදී පැය 6.30 ක අති දුෂ්කර තරණය අපි මෙසේ අවසන් කරා
වලාකුළු වලට ඉහලින්

යෙන් 1000 ක් වටිනා නුඩ්ල්ස් බඳුන
කඳු මුදුනේ ස්මාරකය















ෆුජි කන්ද කොතෙරම් සුන්දර වුනත් එය තවමත් සක්‍රීය ගිනි කන්දක්. කඳු මුදුනට ගිය අයෙකුට දැක බලා ගන්න පුළුවන් එහි ආවාටය. මිදුණු ලාවා වලින් සෑදුනු මුදුනේ ඇති පාෂාණ තද රතු පැහැයෙන් යුක්තයි. කන්ද මුදුනේදී අපි ආහාරයට ගත් මිලෙන් අධික උණු නුඩ්ල්ස් බඳුන ඇඟට නව පණක් ගෙනාවා. කඳු මුදුනෙහි තිබු බංකුවල කෙටි නින්දක් ලබාගත් අපි උදැසන 9.30 ට පමණ නැවත ගමන ආරම්භ කලා.
ගිනිකන්දේ ආවාටය
  
ආපසු ගමන තරණයට වඩා ගතට පහසුවුවත් කඳු තරණයේදී තිබූ උද්යෝගය නොමැති වුනිසාවෙන් එය ඉතාමත් දුෂ්කර වුවා. නමුත් අපි පැය 4.30 කින් කන්ද පාමුලට ළඟා වුවා.


ඇත්තෙන්ම එම ගමන ජපානයේ ජීවිතයේදී ලැබූ ඉතාමත්ම සුන්දර අත්දැකීමක්. සිංහල අපි සිරිපාදය නැගීම ගැන කියනවා වාගේම ජපන්නු ෆුජි නැගීම ගැන කියන්නේ ,”එක් වරක් වත් ෆුජි කන්ද නොනැගපු පුද්ගලයාත් එක්වතාවකට වඩා එය නැගීමට යන්නාත් මෝඩයන් කියායි” ඒ කෙසේවෙතත් එහි සුන්දර භව විඳගන්න ලබන ග්‍රීෂ්මයේදීත් මම යන බව නම් නොඅනුමානයි.